Wednesday, November 30, 2016

ලංකාවේ සිවිල් සමාජය එහි වගකීම ඉටුකරනවාද

පළාත්පාලන ආයතනයක නාමපුවරුවක්

සංවිධානාත්මක සිවිල් සමාජ ක්‍රියාකරීන් ගෙන් ඉටුවිය යුතු කාර්‍යභාරය දැන් ඉටුවෙනවාද නැත්ද යන්න සිතා බලන්න. ජනවාරි 8 වෙනසට මුල පිරීමට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට පෙර සිටම ඔවුන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව රහසක් නොවේ. ඔවුන්ගේ අරමුණ සාර්ථක වූ පසුව ඔවුන් පොදු අපේක්ෂකයා සමඟ එකඟ වුණු කරුණු ගැන ලඟකදී ඇතිවූ තත්ත්වයේදී අදහස් දැක්වීමක් සහ විපරමක් සිදුවුණද ඔවුන්ට කල හැකි විශාල කාර්‍යභාරයක්  ගැන අවබෝධයකින් කටයුතු කරන්නේ නැති බව මගේ අදහසයි. 

1988/89 කාලයේ සිදුවීම් නිසා සමහර අය දේශපාලනයෙන් ඉවත්වීම සහ සමස්තයක් වශයෙන් ජන ජීවිතයට දේශපාලනය කඩා වැඩීම නිසා අද අපට ලැබී ඇති 'දේශපාලුවන්' රටේ දේශපාලනයෙන් පන්නා දැමීමට හොඳම අවස්ථාව නව ක්‍රමයක් යටතේ පැවැත්වීමට නියමිත පළාත් සහ ප්‍රාදේශීය සභා මැතිවරණයි. මෙම පළාත් පාලන ආයතන වල කාර්‍යභාරය නිර්ණය කිරීමට දියුණු රටවල පළාත් පාලන ආයතන වලින් සිදුවන කාර්‍යයන්, ක්‍රම සහ විධි, විනිවිදභාවය පවත්වාගෙන යන ක්‍රම ආදිය හදාරා ඒවා අපේ පළාත් පාලන ආයතන වලට හඳුන්වා දීම වැනි දේවල් සිදු කිරීමට අද ඉන්නා දේශපාලකයින්ට වුවමනාවක් තිබෙනවාද යන්න සැක සහිතය. ඡන්දයෙන් පත්වන පළාත් දේශපාලකයින් කවුරුන් වුවත් එම පළාත් පාලන ආයතන ක්‍රියා කල යුත්තේ පළාතේ පදිංචි කරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම වෙනුවෙන්ය. අද සිදුවන්නේ එම පළාත් පාලන ආයතන පත්වන මන්ත්‍රීන්ගේ අවශ්‍යතා ඉටුකරන ආයතන බවට පත්ව තිබීමය. 

සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම මේ අවස්ථාවේ ඉමහත් ප්‍රයෝජනවත් වනු ඇත. පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන්නන් ඉදිරිපත් වීමට කලින් ඔවුන්ගේ සුදුසුකම්, පළපුරුද්ද, හැකියාව ආදිය පරීක්ෂා කර බලා අනුමැතිය දීමට ස්වාධීන ආයතනයක් ස්ථාපනය කිරීම උගතුන් සහ පළාතට සේවයක් කල හැකිවුන් පළාත දේශපාලනයට පැමිණීමට පිටිවහලක් වනු ඇත. සෑම පළාත් පාලන ආයතනයකින්ම සිදුවිය යුතු සැලසුම් කිරීම්, ඉදිකිරීම්, ආයතනයට අයත් දේපල පළාතේ මහජනයාගේ ප්‍රයෝජනය සඳහා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම, කසල එකතුකිරීම සහ ඉවතලෑම (garbage collection and disposal) වැනි දේ විනිවිද පෙනෙන ක්‍රියාමාර්ගයන් හරහා සිදුවීම හා එසේ වනවාදැයි  සුපරීක්ෂණය කිරීමේ ක්‍රම සහ විධි ආදිය අද රටේ පවතින පළාත් පාලන ක්‍රම වල දක්නට නැත. මේවා ගැන රෝදය අළුතින් සොයාගන්නවාට වඩා දියුණු රටවල් පවතින ක්‍රමයක් එලෙසම හඳුන්වා දීම වඩාත් සුදුසුය. බොහෝ රටවල පළාත්පාලන ආයතන වලට ප්‍රධාන විධායක නිලධාරියෙකු සිටී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මුදල් රෙගුලාසි පිළිබඳව දැනීමක් ඇති අයකු  ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සෑම පළාත් පාලන ආයතනයකටම පත්විය යුතුය. එම ආයතන කාර්‍යක්ෂමව එම ප්‍රදේශයේ පදිංචි කරුවන්ට පිලිගත් කාල සීමාවන් තුලදී ඉහල තත්ත්වයේ සේවයක් සැලසීම ඔහුගේ වගකීම වෙයි. මන්ත්‍රීන් ගේ සහ සේවකයින්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා ආයතනයේ මුදල් වැය කිරීම, විදේශ සංචාර, හා අනිකුත් අනවශ්‍ය වියදම් අනුමත නොකර සිටීමේ වගකීම සහ අයිතිය ඔහුට තිබිය යුතුය.  පළාත්පාලන ආයත සුපරීක්ෂණය කිරීමට බල ඇති ආයතනයකට ඔවුන් වගකිව යුතුය. 

පළාත් පාලන ආයතන වලින් ලබා ගතයුතු අනුමැතීන් ආදිය ලබා දීමට සැපිරිය යුතු අවශ්‍යතා ආදිය සෑම පළාතකටම බලපාන පරිදි කෙටුම්පත් කර සම්මත කර ඒවා වෙබ් මඟින් ප්‍රසිද්ධ කිරීමත් එවන් අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීම අනුමැතිය දීම ආදියත් වෙබ් හරහා සිදුකිරීමට කටයුතු කිරීමත් පළාත් පාලන ආයතන වල ඇති ගසා කෑම් ආදිය අවම කිරීමට උදව්වනු ඇත. සෑම පැලාත් පාලන ආයතනයකම වැඩ කටයුතු සඳහා පොදු වෙබ් අඩවියක් හරහා මිල ගණන් කැඳවීම, පිළිගත හැකි තත්ත්වයේ සේවා නොසපයන්නන් අයින් කිරීම ආදිය වෙබ් අඩවියක් හරහා ක්‍රියාත්මක වන ක්‍රමයකින් සිදුකිරීම ආදිය පළාත්පාලන ආයතන වල වන නාස්ති අවම කරවා ගැනීමටත් ඒවා මහජනයාගේ සුපරීක්ෂණයට ලක් කිරීමටත් පහසුවක් වනු ඇත.  

නව පළාත් පාලන ක්‍රමයේදී නියෝජිතයන් තෝරාගනු  ලබන්නේ මුළු පලාතටම නොව එක් එක් ප්‍රදේශයට බැවින් පළාත්පාලන නියෝජිතයින්ට එතරම් ප්‍රවාහණ අවශ්‍යතා පැන නොනැඟීමට ඉඩ ඇත. එම නිසා පලාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා කාර් පර්මිට් ලබා දීම අවශ්‍ය නොවනු ඇත. ප්‍රවාහන දීමනාවක් ලබා දෙන්නේනම් ඔවුනට අයත වාහනයක් පාවිච්චි කොට සේවය සැපයීමට හැකිවනු ඇත. 

ඉහත කරුණු වැනි තවත් යෝජනා සිවිල් සමාජ සංවිධාන වල සිටින විදේශරටවල එම ක්‍රමය දන්නා වෘත්තිකයන් ගෙන් අදහස් ලබා ගෙන ඒවා වෙන්ස් කරන ලෙස රජයට බල කර සිටීමට ඔවුන් දැනට සාදා ගෙන ඇති වේදිකාව පාවිච්චි කරන්නේ නම් රට විය හැකි සේවය අතිමහත්ය. 

පළාත් පාලනය මෙන්ම අනිකුත් ක්ශෙත්‍ර වලත් මහජනයාගේ ඉල්ලීම වල කාර්‍යක්ෂම, සහ ඵලදායී සේවවාන් ලබා දීමට අවශ්‍ය වෙනස්කම් ගැන යෝජනා ඔවුන් අතර ඉන්නා විද්වතුන් හරහා සකසා ඒවා  නීතිගත කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමටබල රජයට බල කිරීමත්  සිවිල් සමාජයට කල හැකි මහඟු කාර්‍යයක් බව අවබෝධවේවායැයි බලාපොරොත්තුවෙමි.

8 comments:

  1. ලජ්ජාව නිසා නිහඬව ඉන්න උගතුන් අවදි විය යුතුය. වැඩිම අයහපත සිදුවන්නේ නූගතුන්ගේ ක්‍රියා පිළිවෙත් වලට වඩා විලි ලජ්ජාව ඇති අයගේ නිහඬවීම නිසා බව යලි යලිත් ඔප්පුවෙමින් පවතී. මිනී මරන්නට අවසර අඩුවීම නිසා ස්ට්‍රයික් කරන්නට කතා කරන්නන් සහ උන්ට උඩ ගෙඩි දෙන මාධ්‍ය කාරයනුත් දේශපාලකයනුත් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය නේද ? රජයේ ඇමතිවරයෙක් මාර්ග නීති උල්ලංගනය සම්බන්ධ දඩය අඩු කරන්නට කතා කරන බව පෙනී යාම මොනතරම් කණගාටුවක් ද ඉයන් ?

    ReplyDelete
  2. බොහෝ රටවල පළාත්පාලන ආයතන වලට ප්‍රධාන විධායක නිලධාරියෙකු සිටී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මුදල් රෙගුලාසි පිළිබඳව දැනීමක් ඇති අයකු ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සෑම පළාත් පාලන ආයතනයකටම පත්විය යුතුය.//
    එත් අපේ දෙසපලකයෝ එහම කැමති නැහැනේ කාගෙවත් යටතේ ඉන්න. ඇත්තටම ප්‍රධාන විධායක නිලධාරියෙකු කියන්නේ හොද මීටරයක් ආයතනයක උනත් දිවුයුනුවට හේතු වෙන්නේ ප්‍රධාන විධායක නිලධාරිගේ හැකියාව
    මම අහලා තියන විදිහට ලෝකේ අමාරුම සහ වගකීම් අතින් වැඩිම වැඩිම ගෙවීම් ලබන තනතුරක් තමයි ප්‍රධාන විධායක නිලධාරියෙකු කියන්නේ.
    ලිස්ට් එක හදනකොට ඒ සම්මුක පරීක්සන මණ්ඩලයට අනිවරෙය්නම් සිවිල් ක්‍ර්රියක්රින් ඇතුලත් වෙන්න ඕනේ ...එතනදී ඒ කියන්නේ චන්දෙ ඉල්ලන්න දෙන්න ලිස්ට් එක හදනකොට ප්‍රධාන විධායක නිලධාරියෙකුට ලොකු වැඩ කොටසක් කරන්න පුලුවන්

    ReplyDelete
  3. සිවිල් සමාජය කියන එකට ගමේ මරණාධාර සමිතියත් අයිතියි... ඒත් අපි සිවිල් සමාජය කියන්නේ එන්ජීඕ සංවිධානවලට. ලංකාවේ එන්ජීඕ සංවිධාන හැමදාම එජාපයට සහනදායී ප්‍රතිපත්තියක් අනුගමනය කළා.

    ReplyDelete
  4. සිවිල් සමාජයෙත් ඉන්නේ පිස්සු හුටන්ලා...

    දැන් බලන්න මේ ආන්ඩුව පත් කරපු සිවිල් සමාජේ උන්ට කොන්දක් කියලා එකක් තියේ නම් මුන්ට තවත් සහයෝගය දෙන්න පුළුවන්ද..

    මම නම් ගරි කරන එකම එකා නිර්මාල් ඉතරයි... ඌ කියලම අයින් උනා..

    අනික් උන් බයිලා ගගහා පැත්තකට වෙලා ඉන්නවා..

    ReplyDelete
  5. ලංකාවේ සිවිල් බලය සැබෑ සිවිල් ක්‍රියාකාරීන් අතට ගිහින් තියෙනවද?. මම නම් දකින්නේ දැනට සිවිල් ක්‍රියාකාරීන් කියලා පෙනී සිටින්නේ ආණ්ඩුව බලයට ගේන්න උත්සාහ කරපු බලපෑම් කණ්ඩායම් ටික. එහෙමත් නැත්නම් වෘත්තීය සමිති, එන්.ජී.ඕ වගේ කොටස් ටිකක්. මේ අය බොහෝ විට පෙනී සිටින්නේ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මිසක් රටේ අවශ්‍යතා වෙනුවෙන් නෙවෙයි.

    ReplyDelete
  6. මමනම් කේතුමතී රාජ්‍ය පහල වෙනකම් බලන් හිටපු හීනෙ අත ඇරිය. පවුල පිටින්ම වෙන රටකට යන විදිහක් ගැන හිතමින් ඉන්නෙ.

    ReplyDelete
  7. ප්‍රාදේශීය/ නගර /මහනගර සභා අවශ්‍යයි. උතුර නැගෙනහිරට අවශ්‍යතාවයක් තිබුනට අනිත් පලාත්වලට පලාත් සභා සුදු අලි. එය නව ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්න අදහසක් තියනවද?

    ReplyDelete
  8. ලංකාවේ සිවිල් සමාජය කියන්නේ කවුද කියලා ඉස්සල්ලා ම බලන්න වෙනවා....... එතනැයි පළවෙනියට ම වැරදිලා තියෙන්නේ... ලංකාවේ සිවිල් සමාජය කියන්නේ එන්ජීඕ සෙට් එකට.....

    අනික ඉයන් සිවිල් සමාජයෙන් කොටසක් හරි ඒ වෙලාවේ ආණ්ඩුවට පත් වීමට උදව් කරාට ආණ්ඩුව පිස්සු කෙලිද්දි ඒක වෙනස් කිරීමට මුල් විය යුත්තෙත් ඒ සිවිල් සමාජයම තමා..... නැත්තං ඉතින් කවුරු මේවා කරන්නද???

    ReplyDelete